Thursday 4 February 2021

කතළුව පූර්වාරාම බිතු සිතුවම්

ගාලු පාරේ කොග්ගලත් අහංගමත් අතරින් වම් පසට වැටී ඇති මාර්ගය ඔස්සේ කිලෝමීටරයක් පමණ ගිය විට අගනා බිතු සිතුවම් චිත්‍රණය කර ඇති කතළුව පූර්වාරාම විහාරස්ථානය හමුවේ. කඩොල්ගල්ල පරම්පරාවේ මහ සිත්තරේ හා පොඩ්ඩෙ සිත්තරේ විසින් මෙම සිතුවම් ඇඳි බව විචාරක මතයයි. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙය දක්ෂිණ ලංකාවේ සුප්‍රසිද්ධ විහාරස්ථානයකි. විහාරය අභ්‍යන්තර ගර්භ දෙකකිනුත්, පිටමාලයකිනුත් සමන්විතය. විහාරගෙයි සෑම බිත්තියක්ම සිතුවමින් අලංකාර කොට ඇත. මෙම සිතුවම් කන්ද උඩරටින් ඇරඹි සිතුවම් කලාව පහතරට විහාරස්ථාන කරා ව්‍යාප්ත වී ඇති අයුරු දැක්වීමට හොඳම නිදසුනකි. 




බිත්තිය තීරු සතරකට බෙදා සිතුවම් ඇඳ ඇත. එක් තීරුවක් වමේ සිට දකුණටත්, අනෙක දකුණේ සිට වමටත් නැවතත් තෙවන තීරුව වමේ සිට දකුණටත් කියවාගෙන යන අන්දමට චිත්‍රණය කර ඇත. පහතම තීරුව අපාය හා සම්බන්ධ පුවත් දක්වයි. තීරු චිත්‍ර අඛණ්ඩ කථන ශෛලියට අනුව ඇඳ ඇත. අපාය සම්බන්ධ පුවත් වෙන වෙනම රූප රාමු ලෙස දක්වයි. විහාරගෙයි දක්න ලැබෙන සිතුවම් අතර ජාතක කථා මෙන්ම චරිත කථාද සිතුවම් සඳහා වස්තු විෂය වී ඇත. තේමිය ජාතකය, චුල්ල පදුම ජාතකය, කට්ටහාරී ජාතකය, සුතසෝම ජාතකය හා වෙස්සන්තර ජාතකය ජාතක කථා අතර වේ. පටාචාරා කථා පුවත, නන්දිය උපසකගේ කථා පුවත, මසුරු සිටාණන්ගේ කථා පුවත, මහ දන සිටාණන්ගේ කථාව හා සොරෙය්‍ය සිටාණන්ගේ කථා පුවත චරිත කථා අතර ප්‍රසිද්ධියක් උසුලයි.


වෙසතුරු ජාතකයේ දරුවන් දන් දීමේ පුවත කෙරෙහි ශිල්පියා වැඩි අවධානයක් යොමු කර ඇත. තමාගේ දරුවා මරා දමන්නට වධකයාට නියෝග කරන කෲර රජු එම අකුසලයෙන් අපායගාමී වන අන්දම චුල්ල ධර්මපාල ජාතකයෙන් දක්වයි. තේමිය ජාතකයෙන් අධිෂ්ඨානයේ හා බ්‍රහ්ම චරියාවේ මහිමය කියා පායි. මාංස භක්ෂණයේ ගිජු වූ රජකු පොහෝ දිනක මස් නැති නිසා මිනී මස් කන අන්දම සුතසෝම ජාතකයෙන් පෙන්වයි.




කාමාධික සෝරෙය්‍ය සිටු තුමන් අධික රූප ස්වභාවෙන් යුතු මහා කච්චායන තෙරුන් තම බිරිඳ වී නම් මැනවැයි සිතීමත් සමග මෙම පවිටු සිතුවිල්ල නිසා එවෙලේම ගැහැනියක බවට පත්වන අයුරු සෝරෙය්‍ය සිටාණන්ගේ කථා පුවතින් විස්තර කරයි. උඩරට චිත්‍ර සම්ප්‍රදාය පහතරට විහාරස්ථාන කරා ව්‍යාප්ත වීමේදී සිතුවම් තුළට විදේශීය ආභාසය ලැබී ඇති බව කියා පාන හොඳම නිදසුනක් ලෙස කතළුව චිත්‍ර දැක්විය හැකිය. ඇතුළු ගර්භයට ඇතුළුවන මකර තොරණේ වික්ටෝරියා රැජිනගේ, ජෝර්ජ් රජුගේ හා ඉංග්‍රීසීන්ගේ ලාංජනය කැටයම් කර තිබීම මෙයට හොඳම නිදසුනයි.

33 comments:

  1. Well written articles with rare information. Keep it up Yashodha.

    ReplyDelete

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...