ලාංකිකයන් පමණක් උරුමකම් කියන ලෝකයේ වෙනත් ජාතියකට උරුම නොවිය හැකි තරම් විශිෂ්ට ගණයේ සැරසිලි මෝස්තර, සංකේත කලාවක් අප රට සතුව පවතී. මෙම පැරණි සිංහල සැරසිලි මෝස්තර කලාවේ උපරිම දියුනුවට පත් වූ යුගය ලෙස 17 වන ශතවර්ෂයේ උඩරට ශිල්ප කර්මාන්තයන් දැක්විය හැකිය. මෙකල කලා ශිල්පයන් මුඛය පරම්පරාවෙන් පැවැති බව ඉතිහාසය මූලාශ්‍රයන්හි සඳහන් වේ. එකල රජු විසින් ශිල්පීන් හට නලල් පටිය පැළඳවීම සිදු කළ අතර, රාජකීය ශිල්පීන් වෙත වෙන් වූ රාජකීය ඇඳුම් ආයිත්තම් ද ලබා දී ඇත. කැටයම් කලාව, ගණිතය, ආභරණ තැනීම, චිත්‍ර ශිල්පය නැකත් ශාස්ත්‍රය යන පස් ආකාරය ශිල්පයන්හි දස්කම් දක්වා ඇත විහාර චිත්‍ර කර්මාන්තය නිම කළ මෙම ශිල්පීන් හට රන්, රිදී වටිනා සළුපිළි, ගම්බර, කිරිපට්ටි, මසුරන් රජු විසින් ත්‍යාග ලබා දී ඇත.
එදා චිත්‍ර ශිල්පය හැදෑරීමට පැමිණි ගෝලයන්ට වර්තමානයේ මෙන් කඩදාසි පොත් පත් නොවීය. ගුරුවරුන් ගේ උපදෙස් පරිදි ගෝලයන් විසින් "වඩී" නම් මිශ්‍රණයකින් ආලේප කරනු ලැබූ යටිපෝරුව නම් සිත්තම් පුවරුවක අභ්‍යාස කරනු ලැබීය. මේ ක්‍රමය ගල්ලෑලි, ගල්කූරු භාවිතයට පෙර පැවතියේ ය. ශිල්පාචාර්යවරයා යටිපෝරුවේ ඇඳීමට ලබාදුන් වකදෙක මත ශිල්පියා නැවත නැවත ඇඳීමෙන් අත හුරු කරගත යුතු විය.ප්‍රගුණ කළ පසුව එම හැඩයට යතුරු හැඩ එක්කර සංකීර්ණ මෝස්තර රටාවක් වූ සීත මල අඳිනු ලැබීය. අවසානයේ වක දෙකට වකුටු කොළ, ලියපත් ආදිය එකතු කරමින් කතුරු මල අඳිනු ලැබීය. මෙය 'කිරිගිතලය' නමින් හැඳින්වේ. රිද්මයානුකූල සියුම් රේඛාකරණය මින් අපේක්ෂා කෙරේ. 'තුන්දන් වැඩ' නමින් හැඳින්වෙන ජ්‍යාමිතික නිර්මාණ මෝස්තර ඉගැන්වීමෙන් පසුව අත හුරු කරගත් ශිෂ්‍යයා පසුව මිනිස් රූප හා සත්ව රූප ඇඳීමට යොමු වූයේය. මේ ඉගෙනුම් ක්‍රමය ඉන්දීය ආභාසයෙන් ලද්දක් බව පෙනේ.
මේ ආකාරයට චිත්‍ර ශිල්පය ඉගෙනුම ලබන්නා වූ ශිෂ්‍යයා විසින් කියවීම, ලිවීම හා ගණිතය පිළිබඳව දක්ෂතා දැක්විය යුතුය. චිත්‍ර පිළිබඳ ලියැවුණු සංස්කෘත ශ්ලෝක කටපාඩම් කළ යුතුය. රූපාවලිය, සාරිපුත්‍රය, වෛජයන්තිය වැනි ග්‍රන්ථ පරිහරණය කළ යුතුය. ඒ නිරූඩ සත්ව රූප, දේව රූප රූපාවලියේ ද, බුදු පිළිම කලාව සාරිපුත්‍රයේද, කඩු, සිංහාසන, දාගැබ්, සේසත්, සූසැට ආභරණ කලාවන් වෛජන්තියෙන් ද එසේ ඉගෙනීම ලැබිය යුතු විය. සිතුවම් අධ්‍යාපනය සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍යයා 'ශිල්පාචාර්ය' තත්ත්වයට පත් වූ පසුව පට්ටල් හතර රාජ්‍ය නාමලේඛනයට ඇතුළත් කෙරේ. පට්ටල් හතර යනු සිත්තරුන් ද ඇතුළත්ව රජු වෙනුවෙන් සේවය කිරීමකි. එක් පටලයක හතරදෙනකු මූලාචාරීන් ලෙස රජවාසල සේවයේ නියුතු විය. පට්ටල් හතරට අයත් වූයේ ආභරණ පට්ටලය, ඔටුනු පට්ටලය, රන්කඩු පට්ටලය, සිංහාසන පට්ටලයන් ය.
අතීතයේ සිට පැවත ආ මෙවන් අපූර්ව වූ කලා ශිල්පයන් එදා මෙන්ම අදත් ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන්නා වූ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.
✍️ යශෝදා සිරිවර්ධන ✍️