Friday, 26 November 2021

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

 වෘෂභ කුංජරය 

මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩවැල, ගවයාගේ මොල්ලිය ලෙස පෙනේ. සතුන් දෙදෙනාගේම ඇස් එක ය. මෙම නිර්මාණයෙන්   එකල නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණාත්මක  බව මනාව පෙනේ. කුරුණෑගල රිදී විහාරය, මහනුවර දළදා මාළිගය, ඇම්බැක්ක දේවාලය ආදී ස්ථානයන්හි මෙම වෘෂභ කුංජරය සිතුවම්  හා කැටයම් දැකගත හැකිය. දෝව රජමහා විහාරයෙහි  වෘෂභ කුංජරය පෙන්නුම් කරනුයේ  බිහිසුණු ලෙස  සටන් වැදී සිටින ඇතෙකු හා ගවයෙකු ලෙසයි.







✍️ යශෝදා සිරිවර්ධන ✍️


Sunday, 23 May 2021

බුදු පිළිම නෙලීමේ භාරතීය සම්ප්‍රදායන්

මථුරා සම්ප්‍රදාය

භාරතයේ ප්‍රථම බුදු පිළිමය නෙළීමේ ගෞරවය හිමි වන්නේ මථුරා සම්ප්‍රදායටයි.ගන්ධාර කලාව හා සමකාලීනව මථුරා සම්ප්‍රදාය බිහි වුවද වඩාත් දේශීය ලක්ෂණ වලින් මථුරා ශිල්පීන් ඉදිරියෙන් සිටී. මථුරා සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා ගන්ධාර බුද්ධ ප්‍රතිමා කලාවට වඩා වෙනස්ය. මථුරා කලාකරුවා පිළිම නෙළීම සඳහා පළමු ආකෘතිය ගෙන ඇත්තේ ඒ වන විට දේශීය කලා කෘතීන් වූ පැට්නා,පාරබම් ආදී ප්‍රදේශවලින් හමු වූ යක්ෂ රූප වලින් බව පැහැදිලිය.ගාන්ධාර ශිල්පීන් ශාරීරික අලංකාරත්වයෙන් බුදු දේවතාවකු ලෙස නිර්මාණය කළ අතර, මථුරා ශිල්පීන් බුදුන්ගේ ශාරීරික ලක්ෂණ ඉස්මතු කර පෙන්වීමෙන් පමණක් නොව උන්වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණයන් ද මූර්තිමත් කිරීමට උත්සාහ කර ඇත. 


මථුරා ශිල්පීන් විසින් බුදුන්ගේ ශරීර දේහ විලාශය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පවා දැක්වීමට සමත් විය. මේ අතරින් උෂ්ණීර්ෂය ඌර්ණව හා පාද තලයේ ඇති චක්‍රයන් දැක්වීම ප්‍රධාන වේ. මථුරා ශිල්පීන් මුල් යුගයේදී උෂ්ණීර්ෂය දක්වන ලද්දේ මුඩුකල හිසෙහි හරි මැද හක්ගෙඩියක් මෙනි. කත්‍රා හා අභිච්ජත්‍ර පිළිම මේ සඳහා නිදසුන්ය. ඌර්ණ රෝමය නළල මධ්‍යයේ තිතක් මෙන් දැක්වීය. මථුරා ශිල්පීන් සිවුර පෙරවීමේදී අනුගමනය කර ඇත්තේද ගන්ධාර ශිල්පීන්ට වෙනස් අයුරිනි. දෙවුරම නොවසා වම් උරහිස පමණක් සිවුරේ රැළි උඩුකය මත පෙන්වා ඇත. අදනය පටියකින් සිරකොට බදින ලද අයුරු දක්වා ඇත.


මථුරාවෙන් හමු වූ පළමු බුදුපිළිමය රතු වැලි ගලින් නිමවා තිබිණි. දකුණු උරහිස විවෘත ව තිබිණි. සිවුර රැළි සහිතය. එය ඇඟට ඇලී ඇත. නාභිය විනිවිද පෙනෙන සුළුය. හිස මුඩුය. හිස මත වූ උෂ්ණීර්ෂය කෙස්වැටියෙන් සංඛාකාරයෙන් මතුව පෙනේ. දෙපතුල මංගල සම්මත ලක්ෂණ වලින් යුක්තය. ඌර්ණරෝමය පිහිටුවා ඇත. දකුණු අත අභය මුද්‍රාවෙන් යුක්තය. සිංහාසනයක වැඩ සිටියි. දෙපස ද්වාර පාල රූප වලින් යුක්තය.



✍️යශෝදා සිරිවර්ධන✍️

Monday, 19 April 2021

දෙගල්දොරුව විහාරය

     මහනුවර ලේවැල පාලමෙන් එගොඩ වී සිරිමල්වත්ත පසුකොට හමුවන අමුණුගම නම් ගමේ ඇති දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ බිතු සිතුවම් පිළිබඳ අපූරු කෞතුකාගාරයකි.දෙගල්දොරු විහාර සන්නසට අනුව මෙම විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1761 දී ආරම්භ කොට වැඩ අවසන් කර ගත නොහැකිව ඉන් පසු රජ වූ රාජාධි රාජසිංහ රජතුමා විසින් 1786 දී වැඩ අවසන් කළ බව තහවුරු වේ.විහාරය ඉදිකොට ඇත්තේ ස්වභාවික කුඩා ගල්ලෙනක් හාරා විශාල කොට කොට එහි බිත්ති ඔපමට්ටම් කර ගැනීමෙනි.විහාරයේ කොටස් තුනකින් සමන්විතය. ඒ හේවිසි මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යි. හේවිසි මණ්ඩපය ගුහාවෙන් පිටත වූ අතුරු කොටසකි.ඊළඟ ඇතුලත කොටස අන්තරාල යයි.ගුහා අභ්‍යන්තරය ගර්භ ගෘහය යි.මේ එක එකක් ඝන බිත්ති වලින් වෙන්කොට ඇත.



         චිත්‍ර ඇඳීමට පෙර මහනුවර  සමයට අයත් සම්ප්‍රදානුකූලව චිත්‍ර තලය සකස් කොට ගෙන ඇත.ගර්භ ගෘහයේ මහනුවර යුගයට ආවේණික සම්ප්‍රදායන් යුත් 12 රියන් සැතපෙන පිළිමයක්, හිටි පිළිම හතරක් හා හිඳි පිළිම දෙකක් දක්නට ලැබේ. විහාරයේ පිටමාලයේ සුත්‍ර සෝම,වෙස්සන්තර, සත්තුභත්ත හා මහා සීලව යන ජාතක හතරක සිතුවම් දැක්වේ.විහාර බිත්ති අංග දහයක් තරම් පළල තීර වලට බෙදා අඛණ්ඩ කථන ක්‍රමයට වමේ සිට දකුණටත් නැවත දකුණේ සිට වමට ගලායන පරිදි එක් එක් සිදුවීම් චිත්‍රයට නගා ඇත.මේ අනුව වෙස්සන්තර ජාතකය අවස්ථා 16 කින් ද සුත සෝම ජාතකය අවස්ථා 18 කින් ද යුක්තය.එක් එක් සිදුවීමක් සමග ඒ කුමක්ද යන වග වෙන වෙනම "අලි ඇතු දන් දුන් වග"ආදී වශයෙන් ලියා දක්වා ඇත. ඇතුළු මාලයේ ශාන්තිවාදී ජාතකය, සොලොස්මස්තානය හා සත්සතියෙහි ද සිතුවම් දැක්වේ.

     අඳුරු රතු පසුබිමක සුදු, අලු ආදී ලා වර්ණයන්ගෙන් අදින ලද චිත්‍ර වඩාත් දීප්තිමත්ව ඉස්මතු වී පෙනෙන බැවින් එක එල්ලේ ම ප්‍රස්තුථ කාරණය පිළිබඳව ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු වේ.වෙස්සන්තර ජාතකය අලි ඇතු දන් දෙන චිත්‍ර හි ඇතාගේ තේජවන්ත පෙනුමත්, වෙස්සන්තර රජුගේ හැඟීම්බර මුහුණත් මැනවින් නිරූපිතය.පූජා ද්‍රව්‍ය  ලබා ගන්නා අයගේ සිරුරු ඉදිරියට නැවී ඇති ආකාරය,අංගචලන පිළිබඳව ශිල්පියාට ඇති අවබෝධය පෙන්නුම් කරයි. සුතසෝම ජාතක කුමාරවරුන් ගහේ එල්ලා ඇති ආකාරය ද සිත් කම්පා කරවන සුළු එකකි.

          අවශ්‍ය චිත්‍ර ඇඳ නිමා කරන්නේ එක් එක් රූප සටහන් වටා රතු හෝ කළු ප්‍රාණවත් බවෙන් යුතු රේඛාවක් ඇඳීමෙනි.මේ රේඛා නිසා සිත්තමට චිත්තාකර්ශණීය පෙනුමක් ලැබී ඇති අතර, එකිනෙක හොඳින් කැපී පෙනේ.



             ශෛලමය වියන්තලයේ මාර පරාජය හා සදිව්‍ය ලෝකය සිත්තම් කොට ඇත. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ,පංච ශාඛා සහිත ඡත්‍රාකාර බෝධි වෘක්ෂයත් සිත් පහන් කරවන අයුරින් නිර්මිතය. සදෙව් ලෝකවල නුවර යුගයේ වාස්තු විද්‍යානුකූල ලක්ෂණ දැක්වෙන දෙමහල් තෙමහල් පහයන් සිත්තම් කොට ඇත. මෙම විහාරයේ චිත්‍ර අඳින ලද්දේ දෙවරගම්පල සිල්වත් තැන, නීලගම පටබැඳි, කොස්වත්ත සිත්තර නයිදේ යන තිදෙනා විසිනි.


✍️ යශෝදා සිරිවර්ධන ✍️

Sunday, 4 April 2021

ශ්‍රී ලංකාවේ ගුහා සිතුවම්

අපේ  ආදී මුතුන් මිත්තෝ ගුහා චිත්‍ර ඇඳීමට හපන්නු වුහ විවිධ පර්යේෂකයන් විසින් සිදු කළ සොයාගැනීම වලින් ඔප්පු වී තිබේ. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් විජිතයක්ව පැවති කාලයේදී මෙරට විවිධ වැඩ කටයුතු වලට යොදාගත්තේ ඉංග්‍රීසී ජාතික නිලධාරීන්වය. ඔවුන් අප රටේද විවිධ ප්‍රදේශ වල තම කටයුතු කරගෙන යාමේදී අහම්බෙන් මෙන් මෙම ගුහා චිත්‍ර හමුවී තිබෙයි. පසුව ඒ පිළිබඳව ඇලීමක් ඇතිවී වැඩිදුර සොයා බලා වාර්තා පවා ලියා තිබේ.

එවැනි නිලධාරීන් අතුරෙන් අපට හමුවන පළමු නිලධාරියා වන්නේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා  වූ  එච්. සී. පී. බෙල් මහතායි. 1897 දී උතුරු මැද පළාතේ තම රාජකාරී කටයුතු වල නිරත වී සිටින අත‍ර ඔහුට කනත්තේගොඩකල, අරන්ගොඩගල යන ගුහා වල තිබූ ගුහා චිත්‍ර ඇස ගැටී ඇත. පසුව ඔහු තව දුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළේය.




ශ්‍රී ලංකාවේ ගුහා චිත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් ඇඳ ඇත්තේ අතීතයේ සිට ජීවත්වූ වැද්දන්ය. ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා ඇඳි චිත්‍ර කීපයක් ද විවිධ ප්‍රදේශ වලින් හමුවේ. ශ්‍රී ලංකාවේ ගුහා චිත්‍ර වල දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි.

මිනිස් රූප සහ සතුන්ගේ රූප බහුලව හමුවේ. අලියා, කොටියා, සිංහයා, කිඹුලා, බහුපාදික සතුන් මුවා, ගෝනා, මොණරා, වඳුරා, තලගොයා එවැනි සතුන් කිහිපදෙනෙකි. අලියා ඇඳීමේදී හොඬවැල ඉතා හොඳින් රූපයට නගා ඇත.තිත් සහිත සතෙකුගේ රූපයක් ඇත්නම් එයින් කොටියෙක් නිරූපණය කරයි. ජෝන් ස්ටීල් මහතා පවසන පරිදි දිගු ඉරක් හරස් ඉරි දෙකකින් කපා ඇති රූපයක් වේ නම් එයින් තලගොයෙක් නිරූපණය කරයි. දුනු සහ ඊතල මගින් සම්ප්‍රදායික දඩයම් වෘත්තිය නිරුපණය කරයි. සමහර චිත්‍ර වල මිනිසුන් හීලැ සතුන් එකට ඇඳ ඇත. උදා :- තන්තිරිමලේ බිල්ලෑව ගුහාව, කඳුරුපොකුණ, සමහර චිත්‍ර වල පිට උඩ යන මිනිසුන් පවා ඇඳ ඇත. බොහෝ විට පිරිමි සහ ගැහැණු රූප වෙන් කර හඳුනාගත නොහැක. ඒවා බොහෝ දුරට සමානව ඇඳ ඇත. නමුත් ලොව අනෙක් ගුහා වල මෙම ලක්ෂණය වෙන්කර ඇඳ ඇත.


✍️ යශෝදා සිරිවර්ධන ✍️

Sunday, 14 March 2021

සඳකඩ පහණ (අනුරාධපුර යුගය)

බෞද්ධ ගොඩනැගිලිවල පියගැටපෙළ ( පඩිපෙළ ) පාමුල අඩසඳෙහි හැඩයෙන් යුතුව නිමවා ඇති අර්ධ කවාකාර ගල් පා පුවරුව සඳකඩපහණය. අනුරාධපුර මුල් යුගයේ බිහිවූ සඳකඩපහණ කැටයම්වලින් තොර අර්ධ කවාකාර ගල් පුවරුවක් පමණක් විය. උදා: මිහින්තලය, මහාවිහාර, අභයගිරි, ඡේතවන, මිරිසවැටි විහාරවල දැකිය හැක. ඉතා කලාත්මක සඳකඩපහන් නිර්මාණය වූයේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේය. එහි පිට රවුමේ ගිණි සිළුවක් හෙවත් නාග දැල්ලෙන් සරසා ඇත. දෙවන පේළිය ඇත්, අස්, ගව, සිංහ යන සතර වංශික සත්වයන් එකා පසුපසින් දුවන විලාසය දැක්වේ. තුන්වන පේළියේ ඉතා අලංකාර මටසිළුටු ලියවැල් පේළියකි. හතරවන තීරුව නෙළුම් මල් තුඩින් ගත් හංසාවලියකි. මධ්‍යයේ නෙළුම් මල් දැක්වේ.



පරණවිතාන මහතාගේ අදහස අනුව පළමු පේළියේ ගිණි දැල්ලෙන් සසර වසන සත්වයාගේ රාග, ද්වේශ, මෝහ යන කෙලෙස් ගිණි දැල්ලෙන් වෙලී පවත්නා බවත්, සතර වංශික සත්වයන්ගෙන් ජාති, ජරා, මරණ, ව්‍යාධි යන සතර බියද, ලියවැලෙන් තණ්හාවද, හංසාවලියෙන් පාරිශුද්ධතාවයද, නෙළුම් මලින් නිර්වාණයද පිළිබිඹු කරයි. පරණවිතාන මහතා මෙය හදුන්වන්නේ 'භව චක්‍රය' ලෙසිනි.


සඳකඩ පහණේ එහි සංකේතයන් ඒ හා සමග ඇති මුරගල්, කොරවක්ගල් වල සංකේතයන්ද සුභ වස්තු හෙවත් මංගල සම්මත වස්තු ලෙස සැලකිය හැක. ඒවා දැක ස්පර්ශ කරන අයට දිව්‍යමය බලයක් ලැබී තම බලාපොරොත්තු සඵල කරගැනීමට හැකියාව ලැබෙන බව පිළිගැනීමකි.



අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ඇත්තේ අනුරාධපුර බිසෝ මාලිගය ඉදිරිපිටය. එම යුගයේ අලංකාරතම සඳකඩපහණ ථූපාරාමය, අභයගිරිය, ශ්‍රී මහා බෝධිය අභියස හා මහා විහාරයේදී ද, පන්කුලිය බුදු ගෙය අභියසින් ද, වෙස්සගිරියෙන් ද හමුවේ. අනුරාධපුර යුගයේ සඳකඩපහන් වල සුලු වෙනස්කම් දැකිය හැකි වුවද නිර්මාණය අතින් බොහෝ දුරට එක හා සමාන ය.


✍️යශෝදා සිරිවර්ධන✍️

Friday, 26 February 2021

ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ සහ කැටයම්

ක්‍රි.පූ.3 වන සියවසේ දී බුදු දහම ලංකාවට ලැබීමෙන් පසුව සංස්කෘතික හා චින්තන රටාවේ විශාල පරිවර්තනයක් ඇතිවිය. සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩමවීමත් සමග මෙහි පැමිණි ශිල්ප ශ්‍රේණි 18 හෙවත් අටලොස් කුලයන් පැමිණීම නිසා මෙම සංස්කෘතික දායාද ලෙස ගෘහ නිර්මාණ, මූර්ති, චිත්‍ර, කැටයම් ආදී කලාවන්ගේ ආරම්භය සිදුවිය. අද ඉතිරිව ඇති ඉපැරැණි ගොඩනැගිලි අතර ලෙන්, ආරාම හා ථූපය, බෝධිඝර, චෛතියඝර (වටදාගේ) හා ප්‍රතිමාඝර (පිළිම ගේ) දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් අංගයන්ය. 

දේශීය සංස්කෘතියට හා පරිසරයට උචිත අන්දමින් ගොඩනැගුණු කැටයම් කලා සම්ප්‍රදායක්ද බිහිවිය. සදකඩපහණ, පුන්කලස, මුරගල, පියගැටපෙළ, කොරවක්ගල, වාහල්කඩ, බහිරව රූප ඒවා අතර වේ.



අද ඉතිරිව ඇති පැරණි කලා නිර්මාණයන්,


1.සදකඩපහණ 

2.වාහල්කඩ 

3.කොරවක්ගල 

4.මුරගල

5.පුන්කලස

6.පියගැටපෙළ 

7.බහිරව රූපය

8.ථූපඝර (වටදාගේ)

9.ප්‍රතිමාඝර 

10.බෝධිඝර 


✍️ යශෝදා සිරිවර්ධන ✍️

Tuesday, 16 February 2021

පැරණි සිංහල සැරසිලි මෝස්තර

 

ලාංකිකයන් පමණක් උරුමකම් කියන ලෝකයේ වෙනත් ජාතියකට උරුම නොවිය හැකි තරම් විශිෂ්ට ගණයේ සැරසිලි මෝස්තර, සංකේත කලාවක් අප රට සතුව පවතී. මෙම පැරණි සිංහල සැරසිලි මෝස්තර කලාවේ උපරිම දියුනුවට පත් වූ යුගය ලෙස 17 වන ශතවර්ෂයේ උඩරට ශිල්ප කර්මාන්තයන් දැක්විය හැකිය. මෙකල කලා ශිල්පයන් මුඛය පරම්පරාවෙන් පැවැති බව ඉතිහාසය මූලාශ්‍රයන්හි සඳහන් වේ. එකල රජු විසින් ශිල්පීන් හට නලල් පටිය පැළඳවීම සිදු කළ අතර, රාජකීය ශිල්පීන් වෙත වෙන් වූ රාජකීය ඇඳුම් ආයිත්තම් ද ලබා දී ඇත. කැටයම් කලාව, ගණිතය, ආභරණ තැනීම, චිත්‍ර ශිල්පය නැකත් ශාස්ත්‍රය යන පස් ආකාරය ශිල්පයන්හි දස්කම් දක්වා ඇත විහාර චිත්‍ර කර්මාන්තය නිම කළ මෙම ශිල්පීන් හට රන්, රිදී වටිනා සළුපිළි, ගම්බර, කිරිපට්ටි, මසුරන් රජු විසින් ත්‍යාග ලබා දී ඇත.




එදා චිත්‍ර ශිල්පය හැදෑරීමට පැමිණි ගෝලයන්ට වර්තමානයේ මෙන් කඩදාසි පොත් පත් නොවීය. ගුරුවරුන් ගේ උපදෙස් පරිදි ගෝලයන් විසින් "වඩී" නම් මිශ්‍රණයකින් ආලේප කරනු ලැබූ යටිපෝරුව නම් සිත්තම් පුවරුවක අභ්‍යාස කරනු ලැබීය. මේ ක්‍රමය ගල්ලෑලි, ගල්කූරු භාවිතයට පෙර පැවතියේ ය. ශිල්පාචාර්යවරයා යටිපෝරුවේ ඇඳීමට ලබාදුන් වකදෙක මත ශිල්පියා නැවත නැවත ඇඳීමෙන් අත හුරු කරගත යුතු විය.ප්‍රගුණ කළ පසුව එම හැඩයට යතුරු හැඩ එක්කර සංකීර්ණ මෝස්තර රටාවක් වූ සීත මල අඳිනු ලැබීය. අවසානයේ වක දෙකට වකුටු කොළ, ලියපත් ආදිය එකතු කරමින් කතුරු මල අඳිනු ලැබීය. මෙය 'කිරිගිතලය' නමින් හැඳින්වේ. රිද්මයානුකූල සියුම් රේඛාකරණය මින් අපේක්ෂා කෙරේ. 'තුන්දන් වැඩ' නමින් හැඳින්වෙන ජ්‍යාමිතික නිර්මාණ මෝස්තර ඉගැන්වීමෙන් පසුව අත හුරු කරගත් ශිෂ්‍යයා පසුව මිනිස් රූප හා සත්ව රූප ඇඳීමට යොමු වූයේය. මේ ඉගෙනුම් ක්‍රමය ඉන්දීය ආභාසයෙන් ලද්දක් බව පෙනේ.



මේ ආකාරයට චිත්‍ර  ශිල්පය ඉගෙනුම ලබන්නා වූ ශිෂ්‍යයා විසින් කියවීම, ලිවීම හා ගණිතය පිළිබඳව දක්ෂතා දැක්විය යුතුය. චිත්‍ර පිළිබඳ ලියැවුණු සංස්කෘත ශ්ලෝක කටපාඩම් කළ යුතුය. රූපාවලිය, සාරිපුත්‍රය, වෛජයන්තිය වැනි ග්‍රන්ථ පරිහරණය කළ යුතුය. ඒ නිරූඩ සත්ව රූප, දේව රූප රූපාවලියේ ද, බුදු පිළිම කලාව සාරිපුත්‍රයේද, කඩු, සිංහාසන, දාගැබ්, සේසත්, සූසැට ආභරණ කලාවන් වෛජන්තියෙන් ද එසේ ඉගෙනීම ලැබිය යුතු විය. සිතුවම් අධ්‍යාපනය සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍යයා 'ශිල්පාචාර්ය' තත්ත්වයට පත් වූ පසුව පට්ටල් හතර රාජ්‍ය නාමලේඛනයට ඇතුළත් කෙරේ. පට්ටල් හතර යනු සිත්තරුන් ද ඇතුළත්ව රජු වෙනුවෙන් සේවය කිරීමකි. එක් පටලයක හතරදෙනකු මූලාචාරීන් ලෙස රජවාසල සේවයේ නියුතු විය. පට්ටල් හතරට අයත් වූයේ ආභරණ පට්ටලය, ඔටුනු පට්ටලය, රන්කඩු පට්ටලය, සිංහාසන පට්ටලයන්‍ ය.



අතීතයේ සිට පැවත ආ මෙවන් අපූර්ව වූ කලා ශිල්පයන් එදා මෙන්ම අදත් ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන්නා වූ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.


✍️ යශෝදා සිරිවර්ධන ✍️

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...