Monday, 19 April 2021

දෙගල්දොරුව විහාරය

     මහනුවර ලේවැල පාලමෙන් එගොඩ වී සිරිමල්වත්ත පසුකොට හමුවන අමුණුගම නම් ගමේ ඇති දෙගල්දොරුව විහාරය මහනුවර යුගයේ බිතු සිතුවම් පිළිබඳ අපූරු කෞතුකාගාරයකි.දෙගල්දොරු විහාර සන්නසට අනුව මෙම විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1761 දී ආරම්භ කොට වැඩ අවසන් කර ගත නොහැකිව ඉන් පසු රජ වූ රාජාධි රාජසිංහ රජතුමා විසින් 1786 දී වැඩ අවසන් කළ බව තහවුරු වේ.විහාරය ඉදිකොට ඇත්තේ ස්වභාවික කුඩා ගල්ලෙනක් හාරා විශාල කොට කොට එහි බිත්ති ඔපමට්ටම් කර ගැනීමෙනි.විහාරයේ කොටස් තුනකින් සමන්විතය. ඒ හේවිසි මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහය යි. හේවිසි මණ්ඩපය ගුහාවෙන් පිටත වූ අතුරු කොටසකි.ඊළඟ ඇතුලත කොටස අන්තරාල යයි.ගුහා අභ්‍යන්තරය ගර්භ ගෘහය යි.මේ එක එකක් ඝන බිත්ති වලින් වෙන්කොට ඇත.



         චිත්‍ර ඇඳීමට පෙර මහනුවර  සමයට අයත් සම්ප්‍රදානුකූලව චිත්‍ර තලය සකස් කොට ගෙන ඇත.ගර්භ ගෘහයේ මහනුවර යුගයට ආවේණික සම්ප්‍රදායන් යුත් 12 රියන් සැතපෙන පිළිමයක්, හිටි පිළිම හතරක් හා හිඳි පිළිම දෙකක් දක්නට ලැබේ. විහාරයේ පිටමාලයේ සුත්‍ර සෝම,වෙස්සන්තර, සත්තුභත්ත හා මහා සීලව යන ජාතක හතරක සිතුවම් දැක්වේ.විහාර බිත්ති අංග දහයක් තරම් පළල තීර වලට බෙදා අඛණ්ඩ කථන ක්‍රමයට වමේ සිට දකුණටත් නැවත දකුණේ සිට වමට ගලායන පරිදි එක් එක් සිදුවීම් චිත්‍රයට නගා ඇත.මේ අනුව වෙස්සන්තර ජාතකය අවස්ථා 16 කින් ද සුත සෝම ජාතකය අවස්ථා 18 කින් ද යුක්තය.එක් එක් සිදුවීමක් සමග ඒ කුමක්ද යන වග වෙන වෙනම "අලි ඇතු දන් දුන් වග"ආදී වශයෙන් ලියා දක්වා ඇත. ඇතුළු මාලයේ ශාන්තිවාදී ජාතකය, සොලොස්මස්තානය හා සත්සතියෙහි ද සිතුවම් දැක්වේ.

     අඳුරු රතු පසුබිමක සුදු, අලු ආදී ලා වර්ණයන්ගෙන් අදින ලද චිත්‍ර වඩාත් දීප්තිමත්ව ඉස්මතු වී පෙනෙන බැවින් එක එල්ලේ ම ප්‍රස්තුථ කාරණය පිළිබඳව ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු වේ.වෙස්සන්තර ජාතකය අලි ඇතු දන් දෙන චිත්‍ර හි ඇතාගේ තේජවන්ත පෙනුමත්, වෙස්සන්තර රජුගේ හැඟීම්බර මුහුණත් මැනවින් නිරූපිතය.පූජා ද්‍රව්‍ය  ලබා ගන්නා අයගේ සිරුරු ඉදිරියට නැවී ඇති ආකාරය,අංගචලන පිළිබඳව ශිල්පියාට ඇති අවබෝධය පෙන්නුම් කරයි. සුතසෝම ජාතක කුමාරවරුන් ගහේ එල්ලා ඇති ආකාරය ද සිත් කම්පා කරවන සුළු එකකි.

          අවශ්‍ය චිත්‍ර ඇඳ නිමා කරන්නේ එක් එක් රූප සටහන් වටා රතු හෝ කළු ප්‍රාණවත් බවෙන් යුතු රේඛාවක් ඇඳීමෙනි.මේ රේඛා නිසා සිත්තමට චිත්තාකර්ශණීය පෙනුමක් ලැබී ඇති අතර, එකිනෙක හොඳින් කැපී පෙනේ.



             ශෛලමය වියන්තලයේ මාර පරාජය හා සදිව්‍ය ලෝකය සිත්තම් කොට ඇත. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේ,පංච ශාඛා සහිත ඡත්‍රාකාර බෝධි වෘක්ෂයත් සිත් පහන් කරවන අයුරින් නිර්මිතය. සදෙව් ලෝකවල නුවර යුගයේ වාස්තු විද්‍යානුකූල ලක්ෂණ දැක්වෙන දෙමහල් තෙමහල් පහයන් සිත්තම් කොට ඇත. මෙම විහාරයේ චිත්‍ර අඳින ලද්දේ දෙවරගම්පල සිල්වත් තැන, නීලගම පටබැඳි, කොස්වත්ත සිත්තර නයිදේ යන තිදෙනා විසිනි.


✍️ යශෝදා සිරිවර්ධන ✍️

Sunday, 4 April 2021

ශ්‍රී ලංකාවේ ගුහා සිතුවම්

අපේ  ආදී මුතුන් මිත්තෝ ගුහා චිත්‍ර ඇඳීමට හපන්නු වුහ විවිධ පර්යේෂකයන් විසින් සිදු කළ සොයාගැනීම වලින් ඔප්පු වී තිබේ. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් විජිතයක්ව පැවති කාලයේදී මෙරට විවිධ වැඩ කටයුතු වලට යොදාගත්තේ ඉංග්‍රීසී ජාතික නිලධාරීන්වය. ඔවුන් අප රටේද විවිධ ප්‍රදේශ වල තම කටයුතු කරගෙන යාමේදී අහම්බෙන් මෙන් මෙම ගුහා චිත්‍ර හමුවී තිබෙයි. පසුව ඒ පිළිබඳව ඇලීමක් ඇතිවී වැඩිදුර සොයා බලා වාර්තා පවා ලියා තිබේ.

එවැනි නිලධාරීන් අතුරෙන් අපට හමුවන පළමු නිලධාරියා වන්නේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා  වූ  එච්. සී. පී. බෙල් මහතායි. 1897 දී උතුරු මැද පළාතේ තම රාජකාරී කටයුතු වල නිරත වී සිටින අත‍ර ඔහුට කනත්තේගොඩකල, අරන්ගොඩගල යන ගුහා වල තිබූ ගුහා චිත්‍ර ඇස ගැටී ඇත. පසුව ඔහු තව දුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළේය.




ශ්‍රී ලංකාවේ ගුහා චිත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් ඇඳ ඇත්තේ අතීතයේ සිට ජීවත්වූ වැද්දන්ය. ප්‍රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා ඇඳි චිත්‍ර කීපයක් ද විවිධ ප්‍රදේශ වලින් හමුවේ. ශ්‍රී ලංකාවේ ගුහා චිත්‍ර වල දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි.

මිනිස් රූප සහ සතුන්ගේ රූප බහුලව හමුවේ. අලියා, කොටියා, සිංහයා, කිඹුලා, බහුපාදික සතුන් මුවා, ගෝනා, මොණරා, වඳුරා, තලගොයා එවැනි සතුන් කිහිපදෙනෙකි. අලියා ඇඳීමේදී හොඬවැල ඉතා හොඳින් රූපයට නගා ඇත.තිත් සහිත සතෙකුගේ රූපයක් ඇත්නම් එයින් කොටියෙක් නිරූපණය කරයි. ජෝන් ස්ටීල් මහතා පවසන පරිදි දිගු ඉරක් හරස් ඉරි දෙකකින් කපා ඇති රූපයක් වේ නම් එයින් තලගොයෙක් නිරූපණය කරයි. දුනු සහ ඊතල මගින් සම්ප්‍රදායික දඩයම් වෘත්තිය නිරුපණය කරයි. සමහර චිත්‍ර වල මිනිසුන් හීලැ සතුන් එකට ඇඳ ඇත. උදා :- තන්තිරිමලේ බිල්ලෑව ගුහාව, කඳුරුපොකුණ, සමහර චිත්‍ර වල පිට උඩ යන මිනිසුන් පවා ඇඳ ඇත. බොහෝ විට පිරිමි සහ ගැහැණු රූප වෙන් කර හඳුනාගත නොහැක. ඒවා බොහෝ දුරට සමානව ඇඳ ඇත. නමුත් ලොව අනෙක් ගුහා වල මෙම ලක්ෂණය වෙන්කර ඇඳ ඇත.


✍️ යශෝදා සිරිවර්ධන ✍️

සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...