Sunday, 25 October 2020

ශ්‍රී ලංකාවේ කැටයම් කලාව

නෑම රටක සංස්කෘතික උරුමයේ වැදගත් අංගයක් ලෙස එරට පවතින කලා මාධ්‍යයන් හදුන්වා දිය හැකි ය.සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් එක් එක් රටවල් හි අභිමානය මෙන්ම අනන්‍යතාවය ද පිළිඹිබු කරන්නා වූ එක් ප්‍රධාන අංගයකි.මෙම කලා මාධ්‍යයන් හරහා මිනිසාගේ කලාත්මක මෙන්ම විද්‍යාත්මක ,තාක්ෂණික ඥානය ද නිරූපිත ය.ලලක්දිව සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතීතයේ සිටම විකාශනයට පත් වූවකි.ලාංකික සමාජයේ එවැනි කලා මාධ්‍යයන් රාශියක් ඇත.එම කලා මාධ්‍ය රාශිය අතරින් කැටයම් කලාව අග්‍රගණ්‍ය ස්ථානයකට හිමිකම් කියයි.කැටයම් කලාව ලාංකීය සමාජයට මහින්දාගමනයෙන් පසුව ලැබුණු දායාදයක් වශයෙන් හදුන්වයි.                                                    

                          

කැටයම් කලාව අනු කලාවන් කිහිපයක් එකතුවකි.

✳️ලී කැටයම්
✳️ඇත් දල කැටයම්
✳️ගල් කැටයම්
✳️කඩදාසි කැටයම්
✳️පසාරු කැටයම්
✳️පිත්තල කැටයම් ,ආදී වශයෙන් අනු කලාවන් රාශියකි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ දී කැටයම් කලාව පැවතියේ ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් හමුවී නොමැත.නමුත් ක්‍රි.පූ 6 වන සියවසේ මහින්දාගමනයත් සමග ලාංකීය කැටයම් කලාවේ උප්පත්තිය සිදු විය. ඉපැරණි ලාංකීය කැටයම් කලාවේ විකාශනය අධ්‍යනය කරන විට පැහැදිලි වන එක් කරුණක් වනුයේ,දේශීය කැටයම් කලාව මුල් කාලීන ව ආගමික කථා වස්තූන් හා සිද්ධින් මුල් කර ගනිමින් නිර්මාණය වූ අතර,පසුකාලීන ව විවිචිත්‍රත්වය,සුන්දරත්වය මෙන්ම අලංකාරය ගෙන එන මාධ්‍යයන් වශයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. වර්තමානය වන විට කැටයම් කලාව ඉතා දියුණු තලයකට පත්ව ඇත.අතීතයේ දී කැටයම් නිර්මාණ නිර්මාණකරුවා සිය දෑතින් ම නිර්මාණය කල අතර ,අද වන විට එය යන්ත්‍ර සූත්‍ර හරහා සිදු කිරීමට ඇතැම් කලාකරුවන් පෙළඹී ඇත.   

                                                                                                               

මේ වන විට සංචාරකයින්ගේ ප්‍රබල ආකර්ශණයට ලංකාව යොමු වී ඇත.එම ආකර්ශණයට හේතු වූ සාධකයන් අතර,මෙම කලාවන් ප්‍රධාන වී ඇත.ඇතැම් සංචාරකයින් මෙම කැටයම් නිර්මාණ මිලදී ගැනීමට,අධ්‍යනයට වැනි හේතූන් මත ලංකාවට පැමිණේ.එමගින් ලාංකීය අනන්‍යතාවය ලොව පුරා ප්‍රචලිත වීමට මාර්ගයන් විවර වේ. 





✍️යශෝධා සිරිවර්ධන✍️

Monday, 19 October 2020

කලාවේ නිර්මාපකයා

මානවයාගේ වින්දන ශක්තිය ජනනය වූ ආස්ථානයේ පටන් කලාවේ ප්‍රවර්තනය ද සිදු වන්නට ඇත.සාහිත්‍යය ,සංගීතය ,චිත්‍ර ,මුර්ති ,කැටයම් ආදී ප්‍රභේදයන්ගෙන් සමන්විත වූ කලාවේ අරමුණ වන්නේ මනුෂ්‍යත්වය වින්දනය කරා ප්‍රාප්ත කිරීමයි.එහි සංචරණය වනුයේ හුදෙක් වින්දන භාවයන් පමණක් ම නොවේ.                                                                                            
කලාව සමාජීයය ක්‍රියාවලියක් ලෙස දැක්විය හැකි ය.සමාජයේ ගතිකත්වය සමග කලාවද ගතිකත්වයක් දරයි.                                                                                                                                  
එසේම කලාවේ නිර්මාපකයා වන්නේ ,කලාකරුවා ය.ඔහුගේ සිතැඟි අදහස් ,සංකල්ප කලා කෘතිය හරහා ඉදිරිපත් කරයි.එහෙත් කලාකරුවාගේ විඤ්ඤාණය ස්වයං නිර්මිතයන් නොවේ.එහි පවතින්නේ යුගානුබද්ධ ව ඉදිරිපත් කරන්නා වූවකි.යුගයට හා සමාජයට බාහිර ව සිතීමට මානවයාට නොහැකි ය.එබැවින් කලාකරුවා යනු යුගානුබද්ධ ව චින්තනය මෙහෙයවන්නෙකි.එහෙත් ඔවුන්ගේ එකිනෙකගෙන් එකිනෙකාට සිතුවිලිවල සුන්දරත්වයක් පවතී.කලා කෘති ලෙස රසිකයා වින්දනය කරනුයේ එම චමත්කාරයයි. 

"කලාව වූ කලී එක් අයෙකු සිතා මතාම යම් යම් බාහිර සලකුණු උපයොගී කර ගෙන අන්‍යයන් ආසාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක්‍රියාවලියකි."                                                                                                                                             -ලියෝ තොල්ස්ට්තෝයි -

                                                              
තොල්ස්ට්තෝයි පෙන්වා දෙන පරිදි කලාව පුද්ගබද්ධ ක්‍රියාවලියකි.කලාව හරහා තම අන්‍යයන්ට ප්‍රකාශිත බව කියැවේ.චලන,රේඛා,වර්ණ,ශබ්ද හෝ වචන හරහා මෙම වෙදිතයන් සම්ප්‍රේෂණය කරන බව ඔහු පවසයි.                                                                                                                                                    
කලාව රසික හදවත් තුළ අරෝපණය කරන මාධ්‍යයේ වරණය නිර්මාණකරුවාගේ රුචිකත්වය අනුව සිදුවේ.කලාව යනු නවකතාව,සංගීතය ,චිත්‍රය,නර්තනය ,ගීතය හා මූර්ති ,කැටයම් ආදී සෞන්දර්යාත්මක සංකල්පයන්ගේ සමුච්චය බව පැහැදිලි වන අතර ,මානව චින්තනය ආස්වාදයට ගෙන යාමේ ශක්‍යතාවන් ඊට හිමි විය යුතු වේ. කලාකරුවාගේ භාවයන් වහනය වනුයේ නිර්මාණය හරහා ය.එම නිසා කලා කෘතිය හා කලාකරුවා අතර ඇත්තේ අත්‍යන්ත සම්බන්ධයකි. 


එලිසබෙත් රයිට් ප්‍රකාශ කරනුයේ ,

"කලාකරුවාගේ නිර්මාණ ප්‍රතිභාව කලා ව්‍යාධියකට සම්බන්ධ කිරිමකි.ඒ අනුව රෝග ලක්ෂණ කෘතිය යි.රෝගය කතුවරයා ය.


ඒ අනුව රෝග ලක්ෂණ හරහා රෝගය නිර්ණය කර ගත හැකි වන්නාක් මෙන් කෘතිය මගින් කතුවරයා පිළිබඳ නිර්ණය කර ගත හැකි වේ.                                                                                                                                                                      
ඇරිස්ටෝටල් අනුව,


"කලාකෘතිය හා කලාකරුවා අතර මෙන්ම රසිකයාගේද දුරස්ථභාවය තුනී වීමෙන් තත් නිර්මාණයක් ලෙස වඩාත් තීව්‍ර ස්වකීයත්වයට පත් වේ."


මනෝ විශ්ලේෂණාත්මක න්‍යායන්ට අනුව,සාහිත්‍ය කියවීමක් යනු කතුවරයාගේ,පාඨකයාගේ හා චරිතවල අධ්‍යාත්මය කියවීමක් යැයි විවරණය වේ.                                                                                                

කතුවරයා  තම කෘතිය තුලින් රසිකයා හට ලබා දෙන්නා වූ අර්ථය රසිකයාගේ රසභාවය අනුව ද විවිධාකාර විය හැකි ය.එය අර්ථ නිරුපණය කරන්නේද එම රසභාවයට අනුකූලවයි.එසේම සෑම පුද්ගලයෙකු තුළ ම සැගවුණු කලාකරුවෙකු දැකිය හැකි ය. එකම යුගයකදී වූවත් විවිධ අර්ථයන් ජනනයෙහි සමත් හංස සංදේශයේ හා බුදුගුණාලංකාර පද්‍යයේ දෙවියන් පිළිබඳ විවරණයේ යෙදෙන්නේ දෙයාකාරයකිනි.එනම්,

'වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු බැලුවන් ඇලුම් කරවන යලිදු බියකරු පිරිපුන් රුවින් පිරි එසුරිදු සයුරුයුරු මුවෙකින් කියා නිම විය හැකි ද රූසිරි' 

                                                                                                                            -හංස සංදේශය-

'වදුරකු පිනු මුහුද එතෙරව යා නොහී ඉද මෙසේ වේද මෙලොව දෙවියන් තෙද' 

                                                                                                                            -බුදුගුණාලංකාරය -         


හංස සංදේශ පද්‍යයේ දී දෙවියන් පසසන අතර,බුදුගුණාලංකාර පද්‍යයේ දෙවියන් පිළිබඳ උපහාසාත්මක නිර්වචනයකි.මෙය හුදෙක් කාව්‍යමය නිර්මාණයක් නොවේ.කාව්‍යත්වය තුලින් මතු වන්නේ කතුවර ප්‍රතිරූපයන්‍ ය.බත්තලංගුණ්ඩුව' වැනි නවකතාවක් හරහා පෙන්වා දෙනුයේ සංස්කෘතික මායිම් ලිහිල් වූ,නිර්බන්ධිත හා විවෘත චින්තකයින් හෙබි නිර්මාණකරුවෙකුගේ ප්‍රභාවයයි.                                                                                                                
ඒ අනුව කලා නිර්මාණය යනු තදීය නිර්මාපකයාගේ යථාර්ථයයි.එසේම කලාවේ හා කලා කෘතියේ නිර්මාණය උදෙසා යුගයක ධර්මතා හා ගතිකත්වය ද,පාර්ශවීය ධර්මතා හා ගතිකත්වය ද නොවනස් ව පාදක වූ බව සිතිය හැකි ය.නිර්මාපකයා හෙවත් කලාකරුවා මෙම ධර්මතා හා ගතිකත්වය දරා හිදිමින් තම චින්තනය මෙහෙය වන්නා වූ අපූර්ව අයෙකි..                                                                                                                                                                                                                    ✍ යශෝධා සිරිවර්ධන ✍️

Wednesday, 14 October 2020

කලාව

කලාව යනු,,

කලාව මිනිසාගේ සිතෙහි හට ගන්නා වඩාත් විශිෂ්ටතම හා උත්තරීතරම හැගීම් අන් අය වෙත දක්වන,නැතහොත් සම්ප්‍රේෂණය කෙරෙන සුවිශේෂී මානව ක්‍රියාවලියකි.එහි දී මානවයාගේ නිර්මාණ කෞශල්‍ය විදහා දක්වයි.එය කලාවේ මුලික අර්ථය ලෙස ගත හැකිය.සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සදහා යොදාගනු ලබන කුසලතාවය හැගවීම පිණිස 'කලාව' යන වචනය යොදාගනු ලබයි.කලාව මුළුමනින්ම වචනාර්ථයෙන් සන්නිවේදනයට අපහසු කාර්යයකි.


විවිධ පුද්ගලයන් විවිධ මානසික මට්ටම්,විවිධ චර්යාවන්,රීති පද්ධති ඔස්සේ තම නිර්මාණයන් ඉදිරිපත් කරති.එය නිසි ආකාරව තේරුම් ගැනීමට නම් එවැනි දේ පිලිබද නිවැරදිව අධ්‍යනය කිරීමේ හැකියාව නරඹන්නන් සතු විය යුතුය.1970 වසරේදී ඇඩර්නෝ කියා සිටියේ 'දැන් පිළිගත යුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් තවදුරටත් එසේ යැයි පිළිගත යුතු නොවන බවයි'යනුවෙනි.සාහිත්‍යයේ දැක්වෙන පරිදි කලා ශිල්ප 64ක් ඇත.පෙරදිග වාසින්ගේ කලාව පිළිබද සංකල්ප කෞශල්‍ය හා සම්බන්ධ බව පෙනේ.ඔවුන් කලාව හා ශිල්ප අතර වෙනසක් නොදක්වති.කලාව යන්නට ඉංග්‍රීසි,ලතින්,ජර්මන් භාෂාවල අනුපිලිවෙලින් යොදන Art ,Ars ,kunst යන වචන වලින් මුලික අර්ථය කුසලතාවයයි.යම් කාර්යයක කුසලතාවයක් ලබන්නා ශිල්පියෙකු නැතහොත් කලාකරුවා ලෙස හදුන්වනු ලබයි.                                                        
 කලාව පිළිබද විවිධ පුද්ගලයන් නිර්වචනයන් ඉදිරිපත් කර ඇත.
    
''ස්වභාවික රමණියත්වය අනුකරණ කලාවයි.එහි අරමුණ ආශ්වාදයයි''
                                                                                                   -බෙතෝ-

''කලාව නම් රමණීයත්වයයි.එම රමණීයත්වය දිව්‍යමය,ස්වභාවික හා කෘතීම යනුවෙන් ත්‍රිවිධාකාර වේ.''
                                                                                                   -පියර් ආන්ද්‍රේ-
                                              
ඉහත නිර්වචනවලට අනුව කලාව හා සම්බන්ද වන්නේ,රමණීයත්වයයි.සෑම කලා කෘතියකින් අපේක්ෂා කරනුයේ,යම් කලාත්මක රසයකි.මෙම කලාත්මක රසය උත්පාදනය සදහා රේඛා,හැඩතල,රිද්ම,ශරීරය ආධාර කරගෙන තම නිර්මාණ විවිධ හැඩයන්ගෙන් ඉදිරිපත් කරයි.


✍️ යශෝධා සිරිවර්ධන ✍️


සුවිශේෂී සාම්ප්‍රදායික සැරසිලි 1

  වෘෂභ කුංජරය   මුහුණට මුහුණලා  ඇතෙකුගේත්, හිස්  සම්පිණ්ඩනය වන සේ වෘෂභ කුංජරය නිර්මාණය කර ඇත. ගවයාගේ අං, ඇතාගේ දළ  දෙක වශයෙන් ඇත. ඇතාගේ හොඩව...